
මූලාශ්‍රය Source : http://us.123rf.com : http://cmprs.me/qtei
මේ කථා බොහොමයක් මගේ කලින් රැකියාව කරන කාලයේ රෑ වැඩමුරය අවසන් වී නිවස බලා යන අතර තුර ඇසු දුටු දේවල්. බොහෝ දින වල මධ්‍යම රාත්‍රියත් පසු වී දින පතා එකම ත්‍රී රෝද රථ සංගමයක දිගු කාලීන පාරිභෝගිකයෙක් වීම නිසා මම ඔවුන් මා සමග වඩාත් හිතවත් වුනා. ඔවුන්ගේ පෞද්ගලික දේවල් පවා ඇතැම් දෙනා මා සමග කීවේ ඒ නිසා. මගේ පළමු ලිපියෙන් කිව්වා වගේ මම රත්නපුර. මගේ කලින් රැකියාව කලෙත් එහිම නිසා මේ කථා සියල්ල රත්නපුරයට අදාලයි. මෙහි එන පුද්ගල නාම සියල්ල අන්වර්ථ ඒවායි.
අජී අයියා හා කමල් අයියා.
මේ දෙන්නාම එක කුසේ උපන් සහෝදරයන්. ඔවුන් දෙපලම මැදි වයසේ මුල් භාගයේ. සහෝදරයන් වුනත් ඔවුන්ගේ ඇවතුම් පැවතුම් වගේම ත්‍රී රෝද රථ වලත් වෙනසක් තිබුනා.බාල සහෝදරයා කමල්, ඔහුගේ පිළිවෙලට අඳින පළදින , පිරිසුදුවට තියෙන, බැලූ බැල්මට අග හිඟ කමක් නොපෙනෙන පුද්ගලයෙක්. ඔහුගේ රථය ඉතා හොඳින් නඩත්තු කරනවා.හරියට අලුත්ම එකක් වගේ. ඒත ඔහුගේ අයියා අජී අපිරිසුදුවට සිටින මුහුණ පුරා රැවුල වවාගත් , නිතරම බීමතින් සිටින පුද්ගලයෙක්. ඔහුගේ රථය ඉතා අබලන් , නිතරම මග හිටින එකක්.
අජී අයියා හිටපු ධනවත් මැණික් ව්‍යාපාරිකයෙක්, ඒ වගේම ඔහු මගේ නිවස ආසන්නයේ සිටින අති සාර්ථක මැණික් වෙළෙන්දෙකුගේ ව්‍යාපාරික ගුරුවරයා. ගුරුවරයා මේ වන විට ත්‍රීරෝද රථයට වී හයර් එකක් ලැබෙන තුරු බලා ඉන්නවා නැතිනම් හයර් එකක් යමින් සිටිනවා විය යුතුය. ගෝලයා මේ දින වල ව්‍යාපාරික කටයුතු වලට ඇමෙරිකාවට ගිහින්. අසූ ගණන් වල මුල් හරියේ අපේ අජී අයියා මධ්‍යම පන්තියේ(පොදු මධ්‍යම පන්තිය නොවේ) මැණික් ව්‍යාපාරිකයෙක්.ඔහුම කියන ආකාරයට ඔහුට කිසිම මූල්‍ය කලමණාකාරණයක් තිබිලා නැහැ. ඔහු රත්නපුරයේ කාලයක් පැතිරිලා හිටපු තායි ව්‍යාපාරිකයින්ගේ ඇසුරට වැටීමෙන් පසු ඔහු වැඩි වැඩියෙන් විෂමාචාර වලට පෙළඹිලා තියෙනවා. තායි ජාතිකයින්ට අවශ්‍ය “බොහෝ” දේවල් සපයා දීම ඔහුගේ උප ව්‍යාපාරයක් වුනා.(ලංකාවේ පළමු ඒඩ්ස් රෝගියා රත්නපුරයෙන් බිහි කරලා දුන්නෙත් ඔය තායි බයර්ලම තමා.මාතෘකාවට අදාළ නොවුනත් කියන්න ඕනි ඒ ඒඩ්ස් රෝගියා තායි ගනුදෙනු කරුවන් හිටපු සැලුන් එහෙකට ගිය අහිංසකයෙක්.) ඒ “බොහෝ” දේ වලට ඔහුත් ඇබ්බැහි වෙලා.දිනකට ලක්ෂ ගණනින් හම්බ කලත් ඒවා වියදම් කිරීම දරුණුවටම කරලා.මේ සියල්ලත් සමගම ඔහුගේ මානයත් ඉහල ගොස් තිබුනා නිසා ඔහු විශාල නිවසක් තනවන්න පටන් ගන්නවා.වැඩ ඉවර කරන්න කලින් අතේ තිබුණු මුදල් ඉවර වීම නිසා, අනෙත් දේපල ඇපයට තබා ඔහු අධිකව ණය වුනා.ඒ කාලයේදීම ඔහුට විශාල වංචාවක් කරමින් හවුල් කාර ව්‍යාපාරික මිතුරෙක් පලා යනවා. තොණ්ඩුව බෙල්ලටම හිර වීමෙන් පසු පවුලේ ඇය බිරිඳගේ මහ ගෙදර නවත්වල ඔහු රියදුරෙක් හැටියට මැද පෙරදිග රටක රැකියාවට ගිහින් එයින් හොයපු මුදලුත් බොහොමයක් නාස්ති කරලා , වාසනාවකට වගේ ඉතුරු වුන මුදලින් පොඩි නිවසක් තනාගෙන සුළුවට නැවත මැණික් ව්‍යාපාරය පටන් ගන්නවා. අවුරුදු ගණනක ගියත් කිසිම දියුණුවක් නැති තැන ඔහු ත්‍රීරෝද රථයක මිලට ගෙන වත්මන් රක්ෂාව පටන් ගන්නවා.ඒත් සුපුරුදු පරිදි ඔහුගේ නාස්තිකාර ජීවිතය හැකි තරමින් පවත්වාගෙන ගියා. අද වෙන තුරුත් ඔහු එතනමයි. මේ වනවිට ඔහුට වැරදුන ආකාරය ඔහුගේ දරුවන්ගේ කටයුතු වලට අවශ්‍ය මුදල් ගැන , වැඩිමල් දියණියට රැකියාවක් සොයා ගැනීම වගේ දේවල් ගැන පසු තැවෙමින් ඉන්නවා.
අජී අයියාගේ මල්ලි, කමල් හිටපු පොලිස් නිලධාරියෙක්. රාජකාරියේදී දේශපාලනඥයෙකු සමග ප්‍රශ්නයක් ඇති කර ගත් ඔහු දඬුවම් මාරුව භාර නොගෙන රැකියාවට ආයුබෝවන් කියනවා.අනතුරුව පතල් රස්සාව වගේම සුළුවට මැණික් ව්‍යාපාරය කල ඔහු, ඔහුගේ ත්‍රීරෝද රථය මිල දී ගෙන අයියා ගිය මග යනවා.මත්පැන් පානය කලත් , අජී අයියා මෙන් බේබද්දෙක් නොවන ඔහුගේ අතේ දිනකට සැලකිය යුතු මුදලක් ඉතුරු වෙනවා වගේම මට හමු වන විට ඔහු ත්‍රීරෝද රථ තුනක අයිති කාරයෙක්. ත්‍රීරෝද රථ රැකියාවට අමතරව පතල් හවුල් ගෙන හිටපු නිසා වගේම වාසනාවත් නිසා මීට අවුරුදු දෙකකට විතර කලින් ඔහුට විශාල මුදලක් ලැබෙනවා.අද ඔහු සාර්ථක මැණික් ව්‍යාපාරිකයෙක් වගේම වැවිලි කරුවෙක්.
සමන් අයියා.
සමන් අයියා අදටත් හමුදා සෙබළෙක්. සුළු ආබාධිත තත්වයක් නිසා ඔහු සාමාන්‍ය රාජකාරි වලින් ඉවත් කරලා කුරුවිට හමුදා කඳවුරට අනියුක්තව සිටින්නේ. ඔහු ජීවත් වන්නේ රත්නපුර නගරයේම දුරාචාර වලට ප්‍රසිද්ධ කොටසක. ඒ ආසන්නයේ රජයේ නිල නිවාසයක මගේ මිතුරෙක් හිටපු නිසා වරක් දෙවරක් මමත් ඒ පරිසරයට ගොස් තිබුනා. තත්ත්වය් කොතරම් දරුණුද කියනවානම්, මිතුරාගේ නිවසේ ඉස්තොප්පුව් මේස බිමට එන ගසා, පුටු දම්වැල් වලින් ගැට ගසා, විදුලි බල්බ නොඑල්ලා වහලයටම සවි කර තිබුනේ.පාවහන් පවා ගැලවිය යුතුව තිබුනේ විසිත්ත කාමරයේ. ඉදිරි දොරෙත් වීදුරු කළු කරලා. ඒ වගේ පරිසරයක් හැදුනත් සමන් අයියාට ආදර්ශවත් චරිතයක්. බොහෝ දුරට ඒ හමුදා විනය නිසා වෙන්න ඇති. හවසට රාජකාරි නිම වී නිවසට පැමිණීමෙන් පසු පැය කිහිපයක් පවුලේ අය සමග ගතකරලා රාත්‍රී දහයට පමණ ඔහු ත්‍රීරෝද රථ නැවතුම් පලට එන්නේ.පැය කීපයක් ත්‍රීරෝද රස්සාවේ නිරත වන ඔහු පාන්දර දෙකට පමණ නිවස බලා යන්නේ නිදා ගැනීමටයි. ඔහුගේ රිය පැදවීමත් වේගවත් වගේම ප්‍රවේසම්.
අරුණ මල්ලී.
අරුණ කමල් අයියගේ අසල්වාසියෙක් වගේම , අරුණ පැදවූවේත් කමල් අයියාට අයත් ත්‍රීරෝද රථයක්.දැන්නම් අරුණ සරසවි අධ්‍යාපනය ලබමින් ඉන්නේ. ඒ කියන්නේ ඔහු ඒ කාලයේ ත්‍රීරෝද රථ රැකියාව කලේ උසස් පෙළ පාසැල් සිසුවෙක්ව සිටියදී. සමන් අයියා වගේම අරුණත් රථ ගාලට එන්නේ රාත්‍රියේ.පැය කීපයකින් ආපසු යනවා.නොයෙක් ආකාරයේ මිතුරන් ත්‍රීරෝද රථ ගාලේ හිටියත් අරුණ වලේ වැටුනේ නැහැ. ඔහු තමන්ගේ පවුල වෙනුවෙන් අමතර ආදායමක් සොයා ගැනීම් විතරයි කලේ. ඒ වගේම කමල් අයිය ඔහුව හොඳින් බලා ගත්තා.
ඉක්බාල්.
ඉක්බාල් කථා කරන්න පුළුවන් ගොලුවෙක් කිව්වොත් නිවැරදියි.ඔහු කථා කරන්නේ ගමනාන්තය දැන ගන්නත්, එවෙලේම ගාස්තු ප්‍රමාණය කීමටත් විතරයි. බැරි වීමකින් වත් අතර මගදීවත් , ගමන අවසානයේදීවත් ඔහු කතා කරන්නේ නැහැ.ඉතුරු සල්ලි දුන්නත් නිශ්ශබ්දව. ඔහු කලින් පොත් කඩයක සේවය කළා මට මතකයි.
බකා අයියා.
මොහුත් තරමක් නිහඬ පුද්ගලයෙක්.අනිත් අය වගේ නෙමෙයි, ඔහු මුළු දවසම වගේ ත්‍රීරෝද ගාලෙමයි ගත කරන්නේ. පසුව දැනගත් පරිදි ඔහු මගේ මිත්‍රයෙක්ගේ වැඩිමල් සහෝදරයෙක් වගේම, කාලයක් පැවිදි වී ඉඳලා තියෙනවා. ඒත් කණගාටුයි, ඔහු දැඩි බේබද්දෙක්. ඔහු සිගරට් එකක් නොබොන වේලාවක් මම දැකලම නැහැ.වඩාත්ම මතක හිටින සිද්ධිය තමයි , මම මගේ කලින් රැකියාවට ගිය අන්තිම දවස අවසානයේ නිවසට ආවේ ඔහුගේ රථයෙන්. ඒ ඔවුන් සමග යන අන්තිම හයර් එක කියලා දැන ගත්තහම බකා අයියා ගොඩක් දුක් වුනා, කොතරම් දුක් වුනාද කියනවානම්, බොරුවට ත්‍රීරෝද රථය මග නතර කර, කාර්මික දෝෂයක් බව හඟවා පොඩි ආධාරයක් ගන්න ඔහු උත්සාහ කළා.හොදම සිද්ධිය, බීමත්ව හිටපු ඔහු විනාඩි කිහිපයකින්, මට ඇත්තම කියා සමාව ඉල්ලීම.
.
පිපී.
මම එක දිනක්වත් පිපී සමග ගමන් නොකළේ ,ඔහු හමු වූ මුල් දිනයේම ඔහුගේ සැබෑ චරිතය හඳුනා ගැනීම නිසා.සමහර දින වල මගේ වැඩ අවසන් වුනේ මධ්‍යම රාත්‍රියත් පහු වෙලා. එක් දිනක් ත්‍රීරෝද රථයක් ගැනීමට ගිය අවස්ථාවේ තිබුනේ එක් ත්‍රීරෝද රථයක් පමණයි. එහි සිටි කලින් නොහැඳින සිටි පුද්ගලයා පිපී. වෙනදා මගේ ගමන් ගාස්තුව රු. 250 ක් (යම් කොටසක් ආයතනයෙන් ලැබුනා
). පුරුද්දක් විදියට මම නොහඳුනන රියදුරන්ගෙන් ගාස්තුව අහාලා තමයි රථයට ගොඩ වෙන්නේ. පිපීයා මගෙන් රු. 500 ක් ඉල්ලුවා. තියෙන එකම රථය වුනත් ඒ මුදලට යන්න බැරි නිසා මම කිව්වා වෙනදා යන ගානට මිසක් යන්න බැහැ කියලා. පොරත් හෙන සද්දෙන් කිව්වා යන්න බැරිනම් තමුසේ නිකන් ඉන්නවා, මම 500 ට අඩුවෙන් යන්නේ නැහැ කියලා. එවෙලේම එතන හෝටලයේ ඉඳලා අජී අයියා ආවා. අජී අයිය කතාව අහලා පිපීට බැන්නා. ඒ වෙනකොට අජී අයියාව රවටලා දන්නා හඳුනන කොල්ලන් පිරිසක් ඔහුගේ ත්‍රීරෝද රථය තාවකාලිකව පැහැරගෙන ගිහින් තිබුන නිසා ඔහුටත් මාත් එක්ක එන්න විදියක් තිබුනේ නැති නිසා නිවසට ගොස් සිටි සහෝදර රියදුරෙකුට කථා කරලා දුන්න. ඒ අතරතුරදී අජී අයියා මට අවවාද කළා පිපී සමග කවදාවත් හයර් යන්න කථා නොකරන ලෙසට.හේතුව පිපී කියන්නේ පූර්ණකාලීන පිම්පියෙක්. ඔහු ත්‍රීරෝද රථ කුලී ගමන් නොයන බවත් , මැර බලයෙන් රියදුරෙක් සේ පෙනී ඉඳිමින් රථ ගාලේ සිටත් තමන්ගේ ජාවාරම මෙහෙයවන බවත් ඉහල ගණන් කියන්නේ හයර් එක නොයන තැනට වැඩ කරන්න.ඒ වගේම් අජී තවත් හෙලිදරවට්ක් කළා, ඒ තමන්ද පාට් ටයිම් පිම්පියෙක් බව.නමුත් ඔහුට අනුව ඔහු පිම්පි සේවය ලබා දෙන්නේ කරා පොරක් ඉල්ලුවහොත් පමණයි(ලු).
සුරේන්.
සුරේන් සිටින්නේත් රත්නපුර නගරයේම වෙනත් ත්‍රීරෝද රථ ගාලක.මම ඉඳ හිට ඔහුත් එක්ක ගමන ගිහින් තියෙනවා.ඔහු නිතරම මත් වී සිටිනා හා සිනහ වෙන අයෙක් (හේතුව දන්නෝ දනිති).මම සිටින්නේ රත්නපුර නගරයෙන් යම් දුරකින් පිහිටි ගමක.අපේ ගමේ හිටියා දරුවන් අහිමි ඉතා මහළු යුවලක්. ඔවුන් දෙදෙනා “කුඩා” දැරිවියක් දරු කමට හදා ගත්තා. මම අවසන් වරට දකින විටත් වයස අවුරුදු 12 ක් විතර වෙන්න ඇති. සුරේන් සමග හයර් එකක් ගිය පළමු දිනයේ මගෙන් ඇහැව්වා අර දේපල හදාගත් දැරිවිය ගැන.මමත් කිව්වා , “ආ ඔවු ඒ ගොල්ලෝ පොඩි ගෑනු ළමයෙක් හදා ගන්නවනේ” කියලා.ගත් කටටම සුරේන් කිව්වේ “අන්න ඒ පොඩි ලමයව තමයි මම අරන් ගියේ කියලා”. බලන කොට මේකා අර මහළු යුවලගේ ඥාති වෙනවා, ලේ උරුමෙට දෙන්නා පැනලා ගිහින්.කොහොම හරි ඥාතීන්ගේ අභ්‍යන්තර ගැටළුව සමථ කරගෙන තිබුනේ හරි වයස ආවහම බන්දවනකම් බාලවයස්කාර දැරිය වෙනත් නිවසක නතර කිරීම.
තවත් කීප දෙනෙක් මේ අතර සිටියත් ඔවුන් සම්බන්ධ විශේෂ දේවල් මගේ මතකයේ නැහැ.ඇත්තටම් මේ බොහෝ දෙනා විෂමාචාර වලට මොන යම් ආකාරයකින් හෝ සම්බන්ධ වුනත්, (නො)හඳුනන්නන්ට වංචා කිරීමට ඇතැම් අයගේ නැඹුරුවක් තිබුනත් බොහෝ දෙනා සමස්තයක් වශයෙන් හිත හොඳ මිනිස්සු කොට්ඨාශයක්. ඇතැමුන් දවස පුරාත්, තවත් අය රෑ එළි වන තුරුත් දුක විදින්නේ තමන්ගේ ලබැඳීයන් වෙනුවෙන්.අවංකව අපේ සමස්ත සමාජය ගැන කතා කරනවානම්, ඉන් එක් කුලකයක් දින පතාම කල්ලි ගැහෙන්නේ නම ඔවුන් අතර එකිනෙකාගේ පුරුදු (අවාසනාවට බහුතරයක් අවර ගණයේ පුරුදු) සමස්තයේ අවශ්‍යතා විදිහට අනුවර්තනය වෙන ඒක පුදුමයක් නෙවෙයි.
෴෴෴