පැබ්ලෝ එස්කොබා (පළමු කොටස) – Pablo Escobar (Part 1)….
Sunday, June 19th, 2011
මූලාශ්‍රය :Source : http://www.starzlife.com/wp-content/files/2010/01/NewPabloEscobar.jpg
මේ නම ඔබට සමහර විට අසා පුරුදු ඇති. ඒ දකුණු ඇමෙරිකාව මෙන්ම ඇමෙරිකා එක්සත් ජනපදය පවා හෙල්ලූ මහා මත් ද්‍රව්‍ය ජාවාරම් කාරයෙක්. හරියටම කියනවනම් ඔහු කලේ කොකේන් ජාවාරම.ලෝකයේ එතෙක්/මෙතෙක් සිටි දරුණුම මත් ද්‍රව්‍ය ජාවාරම් කරු (හෙළි දරවු වුනු
) ඔහු. එවකට ඔහු ලෝකයේ 7 වැනි ධනවතා වුනා.
පැබ්ලෝ එමිලියෝ එස්කොබා ගැවිරියා (Pablo Emilio Escobar Gaviria) උපන්නේ 1949 දී කොලොම්බියාවේ ඇන්ටියෝකියුවා පළාතේ රියෝනීග්‍රෝ නගරයේ. දරුවන් හත් දෙනෙකු සිටි පවුලක ඔහු තුන් වැන්නා වුනා. ඔහුගේ පියාගේ රැකියාව ගැන විස්තරයක් සොයාගන්න ලැබුනේ නැහැ. ඒත් මව පෙර පාසල් ගුරුවරියක් වූ බව කියෙවෙනවා. ඔහුගේ පවුල ඉතා දුප්පත් එකක් වූ බවත් මැටියෙන් තනපු කුඩා නිවසක් ජීවත් වූ බවත් සඳහන් වෙනවා. අගහිඟකම් නිසාම පැබ්ලෝ හා සහෝදරයින් පාසලෙන් හරවා යැවූ බවත්, පසුකාලීනව ඒ අගහිඟකම් නිසාම පැබ්ලෝගේ විශ්ව විද්‍යාල අධයාපනය ඇණ හිටීමටත් හේතු වුනා.
මෙවැනි දුෂ්කරතා හා මුහුණ දුන් අසාධාරණකම් පැබ්ලෝගේ ගමන මග වෙනස් කළා. ඔහු ඕනෑම ආකාරයකින් මුදල් සෙවීමට පෙළඹුන. ඔහුගේ මුල්ම ව්‍යාපාරය වුනේ සොරකම් කල සොහොන් ගල් වල සටහන් මකා විකිණීම. ඉන් පසු නීති විරෝධී සිගරට් අලෙවිය , ව්‍යාජ ලොතරැයි අලෙවිය වගේම බැංකු අසල රැදී සිටිමින් මිනිසුන්ගේ මුදල් ගරාගැනීම වගේ දේවල් වලටත් යොමුවුණා පැබ්ලෝ , වයස 20දී නම ගිය මෝටර් රථ සොරෙකු බවට පත් වනවා. 1970 මු කාලයේදී ඔහු ශරීරාරක්ෂකයෙකු (a bodyguard) ලෙසත් කටයුතු කරනවා.
මත් ද්‍රව්‍ය ජාවාරමට එළඹීමට පළමුව ඔහු මෙඩෙලින් (Medellin) නගර පරිපාලකයෙකු පැහැරගෙන ඩොලර් ලක්ෂයක කප්පමක් ලබා ගන්නවා. සමහර විට ඒ ඔහු මත් ද්‍රව්‍ය වෙළඳාමටඅශය මූලික ප්‍රාග්ධනය සොයා ගත්තා වෙන්න පුළුවන්. ඊ ලඟට ඔහු ඇල්වාරෝ ප්‍රියේටෝ (Alvaro Prieto) නම කුප්‍රකට හොර ජාවාරම් කරු යටතේ සේවය කිරීමෙන් ධනපතියෙක් වීමේ මාර්ගය වඩාත් පැහැදිලි කර ගත්තා. වයස 22 වන විට පැබ්ලෝ කෝටිපතියෙකුව (ශ්‍රී ලංකා මුදලින්
)සිටියේ වැරදි මාර්ගයේ ගියත් ඔහුගේ දැඩි කැපවීම හා අධිෂ්ඨානය හේතුවෙන්.
පැබ්ලෝගේ සහෝදරයෙකු මෙන්ම ඔහුගේ ගිණුම් සහායක ලෙස කටයුත් කරපු රොබර්ටෝ එස්කොබා (Roberto Escobar) විසින් සඳහන් කර තිබෙන ආකාරයට දිනකට ඩොලර් බිලියන භාගයකට වඩා වටිනාකමින් යුතු වූ කොකේන් ටොන් 15 ක් පමණ ඇමෙරිකාවට ප්‍රවාහනය කර තිබෙනවා. ඔහුට අනුව ලැබුණු මුදල් මිටි බැඳීමට අවශ්‍ය රබර් පටි සඳහා මසකට ඔවුන් ඩොලර් 2500ක් පමණ වියදම් වූ අතර නීත්‍යානුකූලව බැංකු ගත කල නොහැකි තරම් වූ විශාල ප්‍රමාණයකින් මුදල් ලැබීම නිසා ඔවුන් මුදල් නෝට්ටු මිටි ගොඩවල් ඔවුනගේම ගබඩා වල තැන්පත් කර තිබෙනවා. එක වතාවක් විනෝද චාරිකාවක් අතර තුර තමන්ගේ දුවට උණුසුම ලබා දෙන්න ඩොලර් මිලියන 2 ක නෝට්ටු පුළුස්සන්න තරම් ඔහුට ධනය තිබුණා.
මෙඩෙලින් නගරයේ ප්‍රසිද්ධ ජාවාරම් කාරයෙකු වූ ෆෙබියෝ රෙස්ට්‍රෙපෝ (Fabio Restrepo) ඝාතනය කරවා ඔහුගේ අනුගාමිකයන් මෙන්ම වෙළඳපොල තමන්ගේ පාලනයට ගැනීම නිසා පැබ්ලෝ තවත් ප්‍රසිද්ධියට පත් වනවා. ඔහු එසේ කිරීමට හේතුව ෆෙබියෝ, පැබ්ලෝ ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කල නිසා බව කියවෙනවා.1976 දී මත් ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ චෝදනා මත පැබ්ලෝ හා අනුගාමිකයින් පිරිසක් අත් අඩංගුවට පත් වනවා. විනිසුරුවන්ට අල්ලස් ලබා දීමට කල අසාර්ථක උත්සාහයෙන් පසු ඔහු කලේ පොලිස් නිලධාරීන්ට අල්ලස් දී නඩුව අහෝසි වන තැනට කටයුතු කිරීමයි. ඒ සමග නීතිමය කටයුතු වලදී ඔහුගේ පිළිවෙත වූයේ අල්ලස් දීම හෝ එය අසාර්ථක නම් ඔවුන් ඝාතනය කිරීමයි.
මත් ද්‍රව්‍ය ප්‍රවාහනයට වගේම පුද්ගලික පරිහරණයට ඔහු ජෙට් යානයක්ද ඇතුළුව ගුවන් යානා 15 ක්, හෙලිකොප්ටර් 6ක් භාවිත කල අතර ඇතැම් විට ඔහුම ඒවා පැදවූවා.පසු කාලීනව ඔහු සබ්මැරීන පවා මෙ සඳහා භාවිතා කළා. කොලොම්බියාව , පැනමාව හරහා ඔවුන්ගේ කොකේන් ප්‍රවාහනය ඇමෙරිකාවට පවා විහිදී තිබුණා. ගුවන් යානා හැසිරවීමට ඔහුගේ මන්දිරය ආසන්නයේ වෙනම පෞද්ගලික ගුවන් තොටුපලක් පවා තිබුණා. ඇමෙරිකාව තුල ඔවුන්ගේ කොකේන් වලට තිබූ ඉල්ලුම සීඝ්‍රයෙන් ඉහල ගියේ ඔහුව ලෝක ධනවතුන් අතරට ගෙනේ යමින්. ඩොලර් මිලියන කිහිපයක වියදමින් වර්ග කිලෝමීටර් 21 ක් තරම් ඉඩම් ප්‍රමාණයක් මිල දී ගන්නා ඔහු තමන්ගේ පවුලේ හා සංවිධානයේ අයවළුන්ගේ විනෝදාස්වාදය උදෙසා සත්වෝද්‍යානයක් මෙන්ම විශාල ජලාශයක් පවා ඉදි කරවනවා.
පසු කාලීනව ඔවුන් බෝලීවියාවෙන් හා පීරු රටින් කොකේන් අපනයනය පෙළඹෙන්නේ කොලොම්බියානු නිෂ්පාදනයට වඩා ඒවායේ ගුණාත්මක භාවය වැඩි වීම නිසා. පැබ්ලෝ මූලික වූ මෙඩෙලින් වෙළෙඳ සමූහයේ කොකේන් අධිරාජ්‍යය ඇමෙරිකාව, මෙක්සිකෝව, පුවටෝරිකෝව හා ඩොමිනිකානු ජනරජය දක්වා ව්‍යාප්ත වී තිබුණා. ඒ වන විට ඔවුන්ගේ ව්‍යාපාර ආසියාව දක්වා පවා පැතිරෙමින් තිබුණා.
1982 දී කොලොම්බියානු මන්ත්‍රණ සභාවට ඔහු පත් වන්නේ කොලොම්බියානු ලිබරල් පක්ෂය හරහා.එක් වරක් මැතිවරණ ව්‍යාපාරයකදී ඔහු රටේ මුළු ණය ප්‍රමාණය පෞද්ගලික මුදලින් ගෙවීමට පවා පොරොන්දු වී තිබෙනවා. රාජ්‍ය නියෝජිතයින් හා නිලධාරීන් සමග කටයුතු කිරීමේදී ඔහුගේ ප්‍රතිපත්තිය වුනේ දූෂණය හා තර්ජනය කිරීම්. කිසිවෙකුටත් ගැලවී යාමට අසීරු වූ එම ප්‍රතිපත්තිය “ප්ලාටා ඕ ප්ලෝමෝ Plata o’ Plomo” (රිදී හෝ ඊයම්) ලෙසින් හඳුන්වා දී තිබුණා. එහි අර්ථය “අල්ලස් මුදල් ලබා ගන්න (රිදී), නැත්නම් උණ්ඩයට මුහුණ දෙන්න (ඊයම්)” යන්නයි.ඔහුගේ ඝාතන ලැයිස්තුවට ජනාධිපති අපේක්ෂකයෙක්,අධිකරණ ඇමති වරයෙක් , නීතිපති වරයෙක් ,විනිසුරුවන් 200 ක්, පැහැර ගත් විරුද්ධවාදීන් 30 ක්, පොලිස් නිලධාරීන් දහස් ගණනක වගේම පසු කාලීනව දරුණු බෝම්බ පිපිරවීම් නිසා මිය ගියගිය සිවිල් ජනතාවත් අයිතියි.
කොතරම් අපරාධ කලත් ඔහු ජනතාවගේ මිතුරෙක් ව සිටියා (ඔහුට විරුද්ධ නොවන තාක්).කොලොම්බියානු රජය ඔහුට විරුද්ධ වූ විට ඇමෙරිකානුවන් සමග එක්ව පවා පැබ්ලෝ අත් අඩංගුවට ගැනීම ඉතාමත්ම අපහසු වුනේ ඒ නිසා. එම වැටලීම් උත්සාහයන් හා ඒවායෙන් ඔහු ගැලවී ගිය ආකාරය ඊ ළඟ කොටසෙන් බලා පොරොත්තු වෙන්න.




















